HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

එංගලන්තයේ සිට බස් එකෙන් කොළඹට ආ ගමනක්!

එංගලන්තයේ ඩෝවර්වල සිට ලංකාවේ (එකල සිලෝන්) කොළඹට බස් එකෙන් එන්න පුලුවන් ගමනක් මීට වසර 63කට ඉස්සර තිබුණා. 1958 සැප්තැම්බර් 17 වැනිදා ආරම්භ කළ මේ ගමන දැන් නම් නැවතිලයි තියෙන්නෙ. යුරෝපයේ සිට ආසියාවට පැය කීපයකින් යන්න පුළුවන් කම තියෙද්දි මොන එකකට බස් එකෙන් යනවද කියලා ඔබ අහන්න පුළුවන්. පෙන් ඕවර්ලන්ඩ් ටුවර්ස් කියන සමාගම තමයි, මේ බස් එක යොදවලා තිබුණේ. ඩෝවර් සිට කොළඹට (Dover-to-Colombo) කියලා බෝඩ් එකක් ගහගෙන ආ ඒ ගමනේ මුළු දුර කිලෝමීටර 20,000ක්. ගමනේ නිමාවට දින 42ක් ගත වුණා. ටිකට් එකක ගාස්තුව ඒ කාලේ පවුම් 78ක්. අද වගේ නම් පවුම් 2,300ක්. 


එංගලන්තයේ ඩෝවර් සිට ලංකාවේ කොළඹට ආ අන්තර්ජාතික බස් ගමනේ අතරමග දී.

සති හයක් තිස්සේ ගිය මේ අපූරු ගමන නිකම් බස් ගමනක් නොවෙයි. ත්‍රාසජනක අත්දැකීම් රාශියක් ලබා ගත හැකි විශිෂ්ට ගණයේ ගවේෂණාත්මක සංචාරයක්. ලෝකයේ දිගම බස් ගමන හැටියට ඒ කාලෙ පත්තරවල මේ ගැන තොරතුරු පළ වුණා. එංගලන්තයේ ඩෝවර්වලින් පිටත්ව ප්‍රංශය, ඉතාලිය, තුර්කිය, ඉරානය, ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය, හා ඉන්දියාව හරහා තමයි මේ බස් ගමන් මාර්ගය වැටිලා තිබුණේ. අන්තිමේදී ඉන්දියාවේ රාමේශ්වරම්වලින් බස් එක නැවකට පටවලා කොළඹට ගෙනාවා. 

මෙහි යන මගීන්ට යුරෝපයේ පරිසරය කෙමෙන් වෙනස් වී ආසියාවේ පරිසරය මතු වෙන හැටි මේ ගමන තුළින් දැක ගත හැකියි. යුරෝපයේ පිටිසර පළාත්වල හැටි, යුරෝපයේ නිසසල නගරත් ආසියාවේ කලබලකාරී නගරත් අතර වෙනස අත්දැක ගත හැකියි. දේශ සීමාව අනුව ඒ ඒ රටවල භාෂාවලට මාරු වෙන හැටි දැක ගත හැකියි. මේ බස් රියේ කවුළුවක් තුළින් ඔබ මුළු මහාද්වීපවල වෙනස්කම් දින ගණනාවක් තුළ අත්විඳිය හැකිය. ලෝකයේ වැඩි ජනතාවක් අඳින පලඳින හැටි, ජීවත් වන හැටි ප්‍රථම වතාවට ඔබට අත්දැකිය හැකියි. කාන්තාර මැදින් දින ගණනක් යන්නත් අවස්ථාව ලැබුණා. මේ අත්දැකීම ඔබට අහසින් යන විට ලබා ගන්න බැහැ. 

මේ එක් බස් ගමනකට මගීන් 20ක් විතර එක්වුණා. රිය පදවන්න රියැදුරන් කීප දෙනකු යොදා ගත්තා. බසයේ මගීන්ට සේවා පහසුකම් සැපයීමට හතර දෙනෙක් හිටියා. 


ඒ අන්තර්ජාතික බස් ගමනේ විස්තර ඇතුළත් පුවත්පත් දැන්වීමක්.

ඩෝවර් සිට කොළඹට ආ බස් ගමන තරමක් දුෂ්කර එකක් වුනත් ඔවුන් එය හැඳින්වූයේ රෝද මතින් යන හෝටලයක් හැටියටයි. ඔවුන් එය සැලසුම් කර තිබුණේ හැකි තරම් සුවපහසුව යා හැකි විධියටයි. එහි වූ පහසුකම් කීපයක් මෙසේය: 

- හාන්සි වී නිදාගත හැකි අසුනක්. 
- සංචාරකයන්ට කැමති කෑම උයා ගත හැකි බස්රිය තුළ පුංචි මුළුතැන්ගෙයක්. 
- කියවීමට, කතා බහේ යෙදීමට, අවට සිරි නැරඹීමට විවේකව සිටීමට විශේ තැනක්. 
- ඉදිරියේදී හමු වන උෂ්ණ දේශගුණයට අවශ්‍ය විදුලි පංකා ආදියත් විශේෂයෙන් ඇතුළත් වුණා. 

මේක නිකම් සංචාරයක් බසයක් නෙවෙයි, ගවේෂකයන් රැගත් සමාජ ශාලාවක් වගේ එකක්. අමුත්තන් වගේ එක් වන අය පසුව මිතුරන් වී තම අත්දැකීම් බෙදා හදා ගන්නා තැනක්. සති කීපයක් නැත්නම් දවස් 42ක විනෝද චාරිකාවක්. අතරමග තේ කඩවල නැවතී තේ බොමින්, රාත්‍රියන් තරු වියන යට ගත කරමින් යන විස්මිත ගමනක්. ඇත්තෙන්ම, 

1950 දශකයේ ගොඩබිමින් යන ගමන දුර්වල හදවත් ඇත්තන්ට කළ හැකි දෙයක් නොවෙයි. ඒ යන මහා මාර්ග හැම රටකම එක වගේ නැහැ. කර්කශ තැන් එමටයි. වාහනට ආපදාවකට ලක් විය හැකියි. ඒවා හරි ගස්සා ගෙන ගමන යායුතුයි. දේශසීමාවල දී කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවිය හැකියි. රස්තියාදු වීමට සිදු විය හැකියි. ඒත් ඒ හැම එකක් ම අත්දැකීමක් වෙනවා. 

මේ බස් සේවය ආරම්භ කළ මුල් කාලයේ නියමිත වේලාවට කලින් සංචාරය සම්පූර්ණ කළ අවස්ථාත් තිබුණා. මේ බස් සේවය ඒ කාලේ කාගේත් පැසසුමට ලක්වුණා. ඒ නිසා ඊට වඩා දුරක් යන්න බසයක් යොදවන්නත් ඔවුන්ට සිදුවුණා. ඒ ගමන ඔවුන් යොදා ගත්තේ ලන්ඩනයේ සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි දක්වා යන්නයි. ඒ සඳහා දවස් 132 ක් ගතවුණා. එතෙක් ඩෝවර් සිට කොළඹට ආ දිගම ගමන දෙවැනි තැනට වැටුණා. 

1970 අග භාගය වන විට මේ අපූරු බස් ගමන් නතර වුණා. ඊට හේතුවුණු කරුණු ගණනාවක් තිබුණා. සංචාරය යෙදෙන රටවල දේශපාලන අස්ථාවර භාවය, 1979 සිදු වූ ඉරාන විප්ලවය, ඇෆ්ඝනිස්ථානයට සිදු කළ සෝවියට් ආක්‍රමණය, ආදිය නිසා ඒ කොටසේ සංචාරය අවදානම් සහිත වුණා. ඒ එක්කම ගුවන් ගමන් ටිකට් හුඟාක් ලාභ වුණා. අන්තර්ජාතික ගුවන් ගමන් ඉක්මන් හා ආරක්ෂාකාරී වුණා. ගුවන් ගමන්වලට ජනතාව තුළ තිබූ පොදු බිය පහව ගියා. ජනතාව ගුවන්ගමන් දෙසට යොමු වුණා. 

අනික් අතට, ගොඩබිමින් බසයෙන් යන ගමනෙහි ඇති අවදානම වැඩි වුණා. රටරටවල ආක්‍රමණ බිය, සංචාරක ප්‍රශ්න ආදිය නිසා ඇතැම් රටවල දේශසීමාවල ගැටළු ඇති වුණා. රටවල ඇතුළු වීමට වීසා ගැනීමට සිදුවුණා. ගොඩබිමින් යන ගමන වැඩි බාධක සහිත වුණා. ඒ කිසිවක් නැතිව, වීසා ගැටළු නැතිව, අහසින් යාම වඩා පහසු වුණා. අන්තිමේදී අන්තර්ජාතික බස් ගමන් නවතා දැමීමට සංවිධාකයන්ට සිදුවුණා. 

අන්තර්ජාතික බස් ගමන්වල ස්වර්ණමය යුගය අවසන් වුණේ එහෙමයි. ඒවා අද මතකයට පමණක් සීමා වෙලා ඉවරයි. ඒ සඳහා පළ කළ ප්‍රචාරක පත්‍රිකා, ඒ ගමන්වලට එක් වූ අය කියන අපූරු අත්දැකීම් විතරයි ඉතිරිව තියෙන්නේ. ඒ ගමන කෙච්චර සුන්දර එකක් වෙන්නට ඇද්ද? මට නම් හිතෙන්නෙ ස්ථිර බස් සේවාවක් හැටියට නොවුනත් විනෝද චාරිකාවක් හැටියටවත් මේ වගේ ගමනක් යන්න තියෙනවා නම් අපට කොයිතරම් අපූරුද? ඒත් සරණාගතයන්, හොරෙන් සංක්‍රමණය වන්නන් විතරක් නොවෙයි, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් ලෝකය පුරා ඇති කර ඇති ගැටළු නිසා මෙවැනි ගමන්වලට අද ලෝකයේ කොයි රටක්වත් කැමති වෙන එකක් නැහැ. 

- පර්සි ජයමාන්න 

 

අදහසක් පළ කරන්න

0 Comments